2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

හඬනා කිරි දරුවෝ  තුරුල පුරා පැතුවා

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 427

දරුවෝ ඇති අම්මාලා 
දරු සුරතල් පෙන්නාලා 
හඬවා නෙත මා 
සිත පාරනවා 
දරුවෝ නැත මා පතලා 

හඬනා කිරි දරුවෝ 
තුරුල පුරා පැතුවා 
පවු පුරවා සංසාරයේ 
මව් පදවිය නැතුවා 

කුරුලු මුවෝ සතුනේ 
දරු සෙනෙහේ විඳිනා 
මිනිස් බවේ මහිමේ මගේ 
මට දරුවෝ නොදෙනා 

ගීපද රචනය - අජන්තා රණසිංහ 
සංගීතය       - රූකාන්ත ගුණතිලක 
ගායනය       - නීලා වික්‍රමසිංහ

හදවතක් නැති යකඩ කූරු ස්නේහයෙන් වැඩෙන්නට නොදී පණ නල සිඳින්නට යත්න දරන පොහොට්ටුවක් වන් කළලයකට දැනෙන සංවේදනාවන් වචන බවට පත්කළ හැකිනම්... හුස්මක් ඉල්ලන සඳ හුස්ම උදුරාගන්නට හදන නොදුටු ලෝකයට... දකින්නට ප්‍රාර්ථනා කරන ලෝකයට... ඒ නූපන් කළලය කවරක් පවසනු ඇත්ද?

මගේ තාත්තේ... මේ තරම් වද දිදී මරා දාන්නනම් ඇයි ලේ කඳුළක් ගර්භාෂයක පැලවෙන්න ඉඩ හැරියේ...? එක පෙත්තක් ඇහැරැණු ගමන් පොහොට්ටුවේ මම කොච්චර ආසාවකින්ද බලාගෙන හිටියේ ඔයාට දවසක තාත්තේ කියලා කතා කරන්න.. අම්මේ කියලා අම්මට කතා කරන්න.. ඔයාගේ පුංචි ඇඟිල්ලේ එල්ලිලා වැටි වැටී නැගිටින්න... ඔයාගේ බෙල්ල බදාගෙන කම්මුල් ඉඹගන්න.. හිතට දුකක් ආවම.. අම්මා බැන්නම ඇයි තාත්තේ අම්මා මට බැන්නේ කියලා ඔයාගේ උරහිසේ ඔළුව තියාගෙන අහන්න... ඔයාගේ පපුවේ රස්නයට ගුලි ගැහිලා ඔයා මාව දාලා නැගිටලා යයි කියන බයට ඔයාගේ ඇඟ උඩින් කකුලක් දාගෙන නිදාගන්න... තාත්තේ මම කොච්චර හීන දැක්කද?

මගේ අම්මේ මම මේ ලෝකෙට ආවේ සුජාතක - අවජාතක කියන ලේබල් දෙකෙන් මොකක් අයිති කරගෙනද කියලා හිතන්න තරම් මම පුංචි වැඩියි.. මාව අම්මටයි තාත්තටයි එපා වුණේ ඇයි කියලා හිතන්න තේරුම් ගන්නත් මම පුංචි වැඩියි.. මාව එපා කියලා හිතුවේ දුප්පත්කම හින්දනම් මම ඔයාට පොරොන්දු වෙනවා ටොෆි, චොක්ලට්, සෙල්ලම් බඩු, අලුත් ඇඳුම් ඉල්ලලා ලොකු වුණාම කවදාවත් මම අඬන්නේ නැහැ කියලා. ඔයා දන්නවද අම්මේ ඔයාට අම්මේ කියන්න මම කොච්චර ආසාවකින් බලාගෙන හිටියද? ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන ඔයාගේ පපුවේ රස්නෙට තුරුල් වෙලා රසම රස කිරි උගුරක් බොන්න මම කොච්චර ආසාවකින් බලාගෙන හිටියද? ඔයා දොයි දොයි දොයි දොයිය බබා කියා කියා මාව නලවද්දී ඔයාගේ තුරැල්ලේ නැලවෙන්න මම කොච්චර ආසාවකින් බලාගෙන හිටියද? ඔයා හබුන් කටයි බත් දෙකටයි කියලා බත් කවද්දී ඔයාගේ අතින් බත් ගුලි බණ්ඩිය පිරෙන්න කන්න මම කොච්චර ආසාවකින් බලාගෙන හිටියද?

මට හරියට රිදුණා අම්මේ යකඩ කූරුවලින් ඇද ඇද මාව ලේ එනකම් පහුරු ගාද්දී.. මම ඈතට ඈතට ගිහින් හැංඟෙන්න හැදුවා.. ඔයාට ඇහුනෙ නැද්ද මම අඬන හැටි අනේ මාව බේරගන්න කියලා.. එහෙම අඬද්දිම මගේ හුස්ම නැවතුණා අම්මේ... බලහත්කාරයෙන් ජීවය උදුරා ගන්නා දරු කළලයක හදවත මම එලෙසින් කියවමි.

දරු කළල කුස යහනට වඩම්මන්නට පිනක් තිබුණත් ඒ දරු කළල ලෝකයට විකසිත නොකර මරා දමන අම්මලා තාත්තලා එක පැත්තකය. දරුවන් නැති සොවින් වැළපෙන දරු පැටවුන් ඉල්ලා පත්තිනි මෑණියන් ළඟ හඬා වැළපෙන පුද පඬුරු පුදමින් දරුවන් ඉල්ලන අම්මලා තාත්තලා තවත් පැත්තකය. කළලයට පණක් නොදී මරා දමන්නට තරම් සැහැසි වෙන අම්මාවරුන් තාත්තාවරුන් හෘද සාක්ෂිය ඉදිරියේ දෙන උත්තර කවරක් වුවත් අවසානයේ ඒ සියල්ලන් වෙත නගන්නට ඉතිරිවෙන එක් පැනයක් තිබේ.

තවත් ප්‍රාණයක් සිඳ බිඳ දමන්නට කවරකුට හෝ ඇති අයිතිය කිම... අතිශය සාධාරණ හේතුවකින් වියුක්තව..

දරුවෝ ඇති අම්මාලා 
දරු සුරතල් පෙන්නාලා 
හඬවා නෙත මා සිත පාරනවා 
දරුවෝ නැත මා පතලා 

ගැහැනියක මාතෘත්වය ප්‍රාර්ථනා නොකරන්නේනම් ඒ කලාතුරකින්යැයි මට සිතේ. දරුවෙක් කුස යහනට වැඩි කල ඒ දරුවා අතක් පයක් කුසේ වද්දමින් දඟලන විට හෙට දවසේ මව් පදවි දරන්නට පෙරුම් පුරන ඇය විඳින සතුට නිර්වචනය කරන්නට මම වචන නොසොයමි. ඒ දරු පැටියා ළමැදේ හොවාගෙන රක්ත වර්ණ රුහිරු දහරා ශ්වේත වර්ණ කිරි දහරා බවට හැරවූ අනුහසින් සෙනෙහස දන්දෙන්නට මවක පුරන පාරමිතාව බෝධි සත්ත්වවරයකුටවත් නොපිරිය හැකි පරමිතාවක්යැයි මට සිතේ. අකම්පාව මිහිලිය පවා මොහොතකට සසල වෙන තරමේ අපමණ වේදනාවක් දරුවකු මෙලොවට බිහි කරද්දී ඇය අත්විඳියි. ඒ දරුවා ලෙයින් කිරෙන් තනන්නට මෙන්ම ආශිර්වාදයේ සෙනෙහසින් පෝෂණය කරන්නට අතට ගත්ත බත් කට පවා දරැවාටම කවමින් දරුවකුට හෙටක් හදන්නට කැප කළ නොහැකි යමක් නැතයි දිවුරා කියන මව්වරු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මව් ගුණ ළය දැරූ අම්මාවරුන්ය. ඒ අතරෙහි දරැවන් වදන මුත් මව් ගුණ ඉවත විසිකරන අම්මාවරු ද නැත්තේ නොවේ. දරුවන් සල්ලිවලට විකුණන අම්මාවරු ද නැත්තේ නොවේ. කුසෙන් දරුවෙක් නොවැදුවත් අම්මාවරුන් නැති දරුවන්ට අම්මාවරුන් වෙන බෝසත් අම්මාවරු ද නැතුව නොවේ. ඒ සියලු අම්මාවරුන් අතර දරු සෙනෙහස විඳින්නට පින් නැති සොවින් දරු සෙනෙහස විඳින අම්මාවරුන් දෙස බලා හූල්ලන අම්මාවරුන් ද නැතුවා නොවේ. එසේ හිමි නැති දරු පෙමට වැලපෙන අම්මාවරුන්ගේ ආත්ම ගීතයක් සේය මේ ගීතය..

හඬනා කිරි දරුවෝ 
තුරුල පුරා පැතුවා
 

අත්තටු ලද දිනෙක කැදැල්ල හැර නොඉගිලෙන පැටවුන් කොයින්ද? දරුවන් දහ දොළොස් දෙනෙක් හැදුවත් වැඩිහිටි නිවාසවල මංමාවත් දිග අසරණව කල් යල් හරින අම්මාවරැන් තාත්තාවරුන් කියන ගැඹුරු කතාවක් තිබේ. දරුවන්ගේ සිනා හඬින් පිය තෙපුලින් පිරුණු කැදැල්ලක් දවසක හුදෙකලාව හාත්පස වැතිර ගත් අඳුරු කැදැල්ලක් බවට පත්විය හැක. එහෙත් ඇසින් කවර සාක්ෂි නිදසුන් සමාජය ඇසුරේ දුටුවත් දරුවන් නොපතන ගැහැනුන් විරලයැයි මට සිතේ. දරැවන්ට තාත්තෙක් වෙන්නට නොපතන පිරිමින් ද විරලයැයි මට සිතේ. ළය ලෙය කිරට හරවන්නට නොපතන ගැහැනුන් විරලයයි මට සිතේ.

දරු ඵල අහිමිවීම පෙර අකුසලයක්.. පාප කර්මයක් ලෙස සලකන සිංහල බෞද්ධ සමාජය නිරෝගී නොවන මානසික හා කායික ආබාධ සහිත දරුවකුගේ පැමිණීම ද ඒ දරුවන්ගේ මෙන්ම මවුපියවරුන්ගේ ද පෙර පාප කර්මයක් සේ සලකති. එමෙන්ම සමාජයට පිළිලයක් වෙන මව් ගුණ පිය ගුණ නොහඳුනන දරුවන් පෙර අකුසලයකට දරුවන් වෙස් ගෙන පැමිණි මරුවන්යැයි සලකති. එහෙත් ඒ සියල්ල පසෙක ලා මව් පදවි ලබන්නට සුදුසුකම් නොමැතිකම සංසාර පවක් සේ සලකන පාර්ශවයක් ද සිටිති.

පවු පුරවා සංසාරයේ 
මව් පදවිය නැතුවා..

කුරුලු මුවෝ සතුනේ 
දරු සෙනෙහේ විඳිනා 
මිනිස් බවේ මහිමේ මගේ 
මට දරුවෝ නොදෙනා..

මුහුදට වැටුණු තම පැටවා බේරා ගන්නට වලිගයෙන් මුහුදේ වතුර ඉසින්නට මහන්සි ගත් ලේන් අම්මා ගැන කියන්නේ අපේ ජාතක පොතයි. දරු සෙනෙහස තිරිසන් කුලකයේ අම්මාවරුන්ට පවා මහා පොදු සාධකයක් බව කුමට කියනුද? කුරුලු මුවන් වැනි සතුන් පවා මව් පදවි දරා දරු සෙනෙහස විඳියි. කුරුලු කැදැල්ලක පවා කුරුලු පොව්වන්ගේ කිචි බිචිය ඇසෙයි. මිනිස් භවයක් ලබීමට නම් මහා පුණ්‍ය ශක්තියක් තිබිය යුතුයැයි ආගමික විශ්වාසයක් පවතී.

එසඳ
ඈ අසයි..
මෙලෙසින්..

සංසාර පව් හේතුවෙන් තිරිසන් භවේ උපන් තිරිසන් සත්ත්වයන්ටත් මව් පදවි දැරීමේ පින් උරුම සඳ මිනිස් භවයක් ලබන්නට පින් කළ මට දරු සෙනෙහස විඳින්නට මව් පදවි දරන්නට ඉඩ හසර නොදෙන සංසාර කර්මය කුමක්ද? එය සොබාදහමේ කැමැත්තනම් මෙතරම් ස්නේහයෙන් භක්තියෙන් දරුවන්ට සෙනෙහස පාන හදවතක් මට දුන්නේ ඇයි.. එය දෙවියන් වහන්සේගේ කැමත්තනම් දරුවන් පතන හදවතක් මට හිමි කළේ ඇයි? දරුවන් වැදූ මුත් මවු ගුණ නොහඳුනන ගැහැනුන්ට.. කුසට පැමිණි දරු පැටවුන් මරා දමන ගැහැනුන්ට දරු ඵල දී දරුවන් ඉල්ලා දෙවියන් අබිමුවත් හඬා වැටෙන මට දරු ඵල නොදුන්නේ ඇයි?

ගැහැනියකගේ ආත්මගත සන්තාපයක් විවරණය කරන ගීයක් ලෙස මම මේ ගීතය දකිමි. 
 

►  දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර